Wednesday, April 17, 2019

ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය

ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය 

.................................................

පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි . දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලිසිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි . 


සේන්  ගඟ දිගේ යාත්‍රා කරන විට  , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩ නැගිලි අතරින්  ඇය    ප්‍රතාපවත් ලෙස නැගී සිටියාය . 

නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි 


අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල්  කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .


වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ .

ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං  ඉවුරේ ඇති  චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත . 


හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස්  දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ,  පැරිසියේ දරුණු ශීත  ඍතුවල  මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි . 


අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය . 

දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි 


අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත්  CITE නම්   දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .


යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි . 

දැව  කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද,  දේව භක්තියද , මනුෂ්‍යත්වයද  එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත . 


ඉතිහාසයේ එක් පරිච්චේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය  කිසි දිනෙක අමතක නොවේ 


නාරද විජයසූරිය


No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link