Wednesday, April 17, 2019

මම හා ඇය

🙋 මම හා ඇය 💁


ඔබ විවාහක/දරුවන් ලැබ පවුල් ජීවිතයේ සියල්ලෙන්ම තෘප්තිමත්ව දිවි ගෙවන කාන්තාවක්  යැයි කියා සිතනවානම් මම මේ කියන කතාව ඔබට ආදේශ කරගෙන ඔබේ දෑසින් ඇය දිහා බලන්න..


~ අපි යනු තෘප්තිමත් දිවි ගෙවන්නෝ වන අතර ඇය තනිකඩ නැත්නම් සමාජ ව්‍යවහාරයෙන් වැන්දඹුව වේ...


~ ඔබ-මා මෙන්න හීන දාහක් පොදි බැඳගෙන දීග ගොස් දෛවයේ සරදමකට ලක්ව නොසිතූ,නොපැතූ ලෙස තම පෙම්බරා මෙලොව හැර ගොස් ඇය තනිවී ඇත.

~ එය බොහෝ විට  

අනතුරක් නිසා හෝ දරුණු රෝගාබාධයක් නිසා වන්නට පුලුවන,

~ කිසිවෙක් ස්ව කැමැත්තෙන් වැන්දඹුවන් නොවේ.


~ ඔබ මා සතු ආයුෂ කොපමනද කියා අප කිසිවකු නොදන්නා අතර බිරිදට කලියෙන්,

සැමියා මිය යාම බිරිදගේ අවාසනාව වුයේ කෙසේද යන්න මට නොතේරේ.


~ඇය පෙර මගට අසුභ නිමිත්තක් ලෙස නම්කල කවුරුන් වුවද දේව ගණයට අයත් නොවන ඕපපාතිකයෙකු  බව නම් සැබෑය..


~ මහලොකු සංස්කෘතියක් හිමියි කියන ජාතියකට  උරුමකම් කියන්නවුන්, හැම ගැහැණියකටම මෙන්ම ඇයටත්  උත්තරීතර මාතෘත්වයේ නාමයෙන් සළකනු නොලබයිද එය මුළු මහත් ජාතියක පිරිහීමේ ලකුණක් ලෙස මම දකින අතර ළිං පතුල,

ලෝකය කර ගත් මැඩියන් ගැන තවදුරටත් විශේෂණ අවශ්‍ය නොවේ.. 


~ විශේෂයෙන්ම කාන්තාවන් වන අප,

තවත් අප වැනිම ගැහැනියක් දෙස මානුෂිකව නොබලන්නේ නම්  විරුද්ධ පාර්ශවික පිරිමින් ගැන කුමන කතාද?


~ තනිවම හෝ දරුවන්ද සමග හෙට දවසට මුහුණ දෙන මෙවන් වූ කාන්තාවන්,

අපට වඩා දරා ගැනීමේ හා උපේක්ෂා සහගතව ජීවීතයට මුහුණ දීමේ ශක්තියෙන්ද ඉදිරියෙන් සිටින බව මම විශ්වාස කරමි. 


~ එලෙසම, තනිව හෝ දරුවන්ද සමග තනිවූ ඇය තවදුරටත් ස්ව ජීවීතය තනිව ගත කල යුතුයි යනුවෙන් ඔබ ප්‍රකාශ නිකුත් කිරීම  හෝ අකමැත්ත පෙන්වීම සුදුසු නොවන අතර එය මානුෂීයද  නොවේ.


~ඔබ කැමති දේ කිරීමට කිසිවකු බැඳී නොමැත,එයත් විශේෂයෙන්ම පිටස්තරයකු..

මට කැමති දේ මම කරන්නා සේ අනෙකාටද ඒ ස්වාධීන අයිතිය එලෙසම ඇති බව මතක තබාගන්න.


~ මනුස්සය මැරුනනම් තනියම නොඉඳ තවත් දීගෙක යන්න හදනවා යැයි,වාග් ප්‍රහාර හෝ  කුණුහරුපයන් ඔබ ඇයට ගොතනවනම් ඔබ ඔබ ගැනම ලැජ්ජ වන්න.

පහත් මට්ටමෙහි හොවා

ඇයට,චරිත සහතික නිකුත් කිරීම ඔබ- ඔබටම අවමන් කර ගැනීමක් බව මතක තබාගන්න.


~ ඔබ-මා වැනිම ඇට,මස්,ලේ, නහර වලින් සෑදුන ඒ ශරීරය දරා ගෙන හුස්ම හෙලන ඇයට,

ඔබට මට මෙන්ම දුක,වේදනාව,හැඟීම් පමනක් නොව මුහුන පාන්නට වෙන කරදරයන් හා ප්‍රශ්න  බෙදාගැනීමට  ජීවීයකු අවශය වේ.


~ රෑ මැදියමේ දොරට තට්ටු කරන සල්ලාල පිරිමින්ට දොර ඇරියොත් සිංහල භාෂාවෙ ඇති තිත්ත කුණුහරුප ඔබ ඇයට ගොතන අතර 

ඒ දොරම නොඇර නිර්භීතව සිටියහොත් පහුවදාට දොරට තට්ටු කළ එකා ඇයට පද හදයි.

~ මෙය  අපේ සමාජය යි..

~ අප සර්ව සම්පූර්ණ මිනිසුන් සේ සලකා අනෙකාට ඇඟිල්ල දික් කරන, මනුසත් කම් වල් බිහිව ඇති අපගේම සමාජයයි.


~ මිනිසුන්  විසින් තම සිතැඟි පරිදි ගොඩනගා ගත් මත වලම එල්බගෙන ක්‍රියා කරති,

අදහස් දක්වති. 


-ප්‍රථම ප්‍රේමය විවාහයෙන් අවසන් විය යුතුය,

-එය එසේ නොවුණහොත් ඇය වටේ ගිය කෙනෙකි.

-දීග ආ මනුස්සයා සල්ලාලයෙක්, බේබද්දෙක්, අමනුස්සයෙක්,වුවද කෙසේ හෝ ඔහු සමඟ පවුල් කෑ යුතුය.

-මොනයම්ම හෝ හේතුවකට වෙන්වීම අකැප වන අතර දුක දරා ගැනීමට ගැහැණිය හුරු විය යුතුය.

-මොනයම් හෝ හේතුවක් මත සැමියා අහිමි වුව හොත් හැමදාම තනිකඩව දරුවන් බලාගෙන ජීවත් විය යුතුය.


~ මේ සියලු රිතීන් ගැහැනියට පමණක් වන අතර පිරිමියාට රිසි දේ කිරීමේ අයිතිය ඇති වන පරිදි වටපිටාව සකස් කර ඇත.

~ඒ නැතත් පිරිමියාව, සෝදා ගෙට ගත්කල ඒකා කල සියලු පව් සේදී යන බව සමාජ ගත කර ඇත.

~ මෙය මෙලෙස සිදු වෙද්දී පිරිමියා වටේ යාම කොලුකම ලෙසද ඇතැමෙක් හඳුන්වනු ලබයි.


~ ඉතින් තනි වූ ගැහැනියක්,

නැවත වෙන විවාහයකට එළඹීමට  තීරණය කල හොත් එයට ඔබගේ විරුද්ධ හෝ ඍණාත්මක  අදහස් පල  කිරීමෙන් වලකින්න.


~ ඔබ දීග ආ පිරිමියා සමඟ තවත් එක්ව වසනවාද නැද්ද යන්න තීරණය කරනුයේ ඔබම වන අතර,  ඔබට මෙන්ම ලොව වසන හැමෝටම තමන්ගේ ජීවිත වල තීරණ ගැනීමේ  අයිතිය සතු බව මතක තබාගන්න.


~ අප මෙලෙස මානුෂීය සමාජ වටපිටාවකට ඉඩ හසර ලබා දුන් තැන,

සමහරක් කාන්තාවන් ප්‍රසිද්ධියේ නින්දා,අපහස විදීමට ඇති අකමැත්ත හේතු කොට ගෙන ලොවට හොරා රහසේ පවත්වන සම්බන්ධකම් වුවද අවම වී  සදාචාර සම්පන සමාජයක් ගොඩනගා ගැනීමට ඉඩ හසර උදා වෙනු ඇත.


~ එලෙසින්ම,

ඔබ මෙලෙස තනිවී සිට නැවත වතාවක් විවාහයට එළැඹීමට බලාපොරොත්තු වන කාන්තාවක් නම්,


- හදාගැනීමට සහකරුවෙකු නොව හැදුනු සහකරුවෙකු තම ජීවිතයට ළං කර ගැනීමට තරම් බුද්ධිමත් වන්න.


- ඔබ දරුවන් සමඟ තනිවුණු කාන්තාවක් නම් ඔබ ගන්නා තීරණ ඔබේ දරුවන්ට ද බලපාන බව හොඳින් මතක තබාගන්න.


- අප ලංකාවේ හෝ වෙන යම් කුමන සංවර්ධිත රටක ජීවත් වූවත් එය අභිබවා ඉදිරියට එන නොදියුණු ශිෂ්ඨාචාරයන් වල ලක්ෂණ තවමත් අප සමාජයෙහි ශේෂව ඇති බැවින් ඔබ ඔබේ දරුවන් ගැන බෙහෙවින් සිතා බලා මතු තීරණ ගත යුතුයි.

මක්නිසාදයත්,

-සමහරක් තිරිසන් සතුන් තම ආශාවන් පිනවාගැනීම සඳහා යොදවා ගන්නා තම විරුද්ධ ලිංගික සතා තමාගෙ කවුරුන්ද යන්න ඔවුන්ට අදාල නොවේ. 

මොකද එය, බහුතරයක් තිරිසනුන්ගේ ගතියයි.


-කොවුලා, කපුටු කූඩුවේ බිජුලෑම සිදුකරයි. 

බිජු මෝරා පැටවුන් එළියට ආපසු ශරීර වර්ණය නිසා වෙනස් කර හඳුනාගත නොහැකි වූවත් ක්‍රමයෙන් වැඩී නාද දීමට පටන් ගත් කල.,

කපුටා, ශබ්දයෙන් තම පැටවුන් වෙන්කර හඳුනා ගනී, 

අවසානයේ කොවුල් පැටවා කපුටු පහර මැද කූඩුවෙන් එළවා දැමේ,

තටු ගසා පියාසර කිරීමට හැකිනම් කපුටු කූඩුව හැරදා පියඹා යයි..


~ මෙවැනි වූ අවස්ථා මෙලෙසින්ම,

මිනිස් සමාජයෙහිද සිදුවන බව

මතක තබා ගන්න.

~ මක්නිසාද යත් බහුතරයක් අසත්පුරුෂයන් හමුවේ සත්පුරුෂ ක්‍රියා සෙවීම කළුනික සොයන්නාක් මෙනි.

~මොකද බොහෝ මිනිසුන් පුරුදුව සිටින්නේ පිට එකා, පිට එකාගේම ලා සැලකීමටයි..


ඉතින්,

~ නිවැරදි පිරිමියා තෝරාගැනීම ඔබට පැවරෙන කාර්යයකි.

~ ඔබව අපහසුතාවයට පත් නොකිරීම අප සතු කාර්යයකි..

~ මෙය මනාව වටහාගෙන සමාජයට යහපත් පූර්වාදර්ශයක් ලබා දිය හැකි පරිදි ජීවත්වීම අප සැමටම පැවරෙන වගකීමකී...


අවසාන වශයෙන්,

~ මනුෂ්‍යය ජීවිතය අවිනිශ්චිතය.

~ අද ඔබ කෙනෙකුට පැවසූ දේ භූමරංගයක්ව නැවත ඔබ කරාම පැමිණියහොත් එය පුදුමයට කරුණක් නොවේ..

~මක්නිසාදයත්,

අප නෙළාගන්නේ අප අස් වැද්දූ අස්වැන්න පමනකි..

~ ආදරය යනු ඔබ-මා මෙන්ම ලොව වසන සෑම ප්‍රාණියෙක්ම විදීමට කැමති උත්තරීතර හැඟීමකි.

~ආදරයට-ආදරයෙන්ම ඉඩ දී ආදරණීය සමාජයක් ගොඩනැගීමට අපගේ සිතුම්, පැතුම්,ආකල්පද ආදරණීය විය යුතු බව මතක තබාගන්න.


සුභ දවසක් 🌷🌷

ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link