Sunday, April 14, 2019

ශුද්ධවූ සතියේ ඇති විශේෂත්වය

ශුද්ධවූ සතියේ ඇති විශේෂත්වය ...


ක්‍රිස්තියානි ඇදහිල්ල හා සම්ප්‍රදායන් අනුව ශු. සතිය කිතුනු හැමෝටම වසරේ ඉතාමත් වැදගත් සතියක් වේ. එය චතාරික සමයේ අවසන් දින කිහිපයයි. එය ක්‍රිස්තුන් වහන්සේගේ නිහතමානි මනුෂ්‍යත්වය, පුජකත්වය හා මහානුභාසම්පන්න දෙවිකත්වය ලොවට හෙළි කළ අමරණිය සතියකි.


අළු බදාදයින් පස්සේ එන සුවිශේෂී දිනය තමයි ගොක් ඉරිදා කියන්නේ.

ගොඩක් කතෝලික අය වගේම කතෝලික නොවන අයත් හිතාගෙන ඉන්නේ නත්තල් මංගල්ල්‍යය එහෙමත් නැත්නම් ජේසු තුමාගේ උපත සිහි කරන එක තමයි කිතු බැතිමතුන්ගේ සුවිෂේශි ම දිනය කියලා.ඒ කතාව වැරදියි.


ගොක් ඉරිදා දවසට කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජාවන් පැවැත්වෙනවා.එදා ජෙරුසලමේ වැසියෝ පාවිච්චි කරපු ඔලිව් අතු වෙනුවට ගොක් කොළ පාවිච්චි කරන නිසයි මේ ඉරිදට කිතුනු බැතිමතුන් ගොක් ඉරිදා කියලා කියන්නේ. එදාට පූජාවට අරන් එන ගොක් කොළ ආශිර්වාද කරනවා. ඒ ගොක් කොළ අරන් ගිහින් කුරුස හදලා ගෙවල්වල උළුවස්සේ එල්ලන්නත් කිතුනුවන් අමතක කරන්නේ නෑ.අන්න එහෙම එල්ලන ගොක් කුරුසවල අලු තමයි ඊලග අවුරුද්දේ අළු බදාදා දවසේ පියතුමා කතෝලිකයන් ඔවුන්ගේ නලලේ තවරනු  ලබන්නේ.


අප ස්‌වාමින් වහන්සේගේ වසර තුනක පමණ මේ ප්‍රසිද්ධ ජීවිත කාලයේ කළ දේශනා හා ප්‍රාතිහාර්ය අත්දුටු ජුදෙව් ජනයා "ඇත්තෙන්ම මේ අපේ රජතුමා යෑයි පිළිගෙන රජකුට දෙන ජනඝෝෂා හා ඔල්වරසන් මැද මෙතුමා සාමයේ රජතුමා" "හෝසන්නා "යයි මහ හඬින් කෑගසමින් ජෙරුසලෙම් නුවරට එතුමා පිළිගත්හ. 


ප්‍රීතියෙන් උත්සන්න වූ ජුදෙව් ජනයා ගස්‌වල විශේෂයෙන් තාල වර්ගයේ ගස්‌වල අතු කඩා බිමට එළමින් තමන් ඇඳ සිටි උතුරු සළු ගලවා පාවහන් ලෙස බිම දිගේ එළමින් කොටළුවකු පිට නංවාගෙන මඟ දිගේ ජය හඬ නංවමින් ගමන් ගත්හ. ශුද්ධවු සතිය ආරම්භ වන ගොක්‌ ඉරිදා කෙරෙන්නේ එදා වූ සිද්ධිය අනුස්‌මරණය කිරීමයි. 


ශුද්ධවු සතියේ කතෝලික අපට තවත් වැදගත් දිනයක් තමයි මහ බ්‍රහස්පතින්දා දිනය.


ගොබ් ඉරිදා ජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසලමේ නුවරට වැඩම කල ජේසුස් වහන්සේ තම ප්‍රාණය පුජා කිරීමට පෙර දින වූ මහා බ්‍රහස්පතිනදා තම ගෝලයන් සමග වලදන ලද රාත්‍රී භෝජනය මෙම සතියේ පුජනිය වත්පිළිවෙත් වල ප්‍රධාන තැනක් ගනියි.


උන්වහන්සේ පුපය රැගෙන තුති පුදා එය කඩා තම ශාවක පිරිසට දෙමින් ” මේ මාගේ ශරීරයයි. අනුභව කරන්න. මා සිහි කිරීම පිණිස මෙය ඉෂ්ඨ කරන්න ” යැයි වදාළේ මෙදිනය. මෙහිදී ජේසුස් වහන්සේ පුජකයාණන් බවට පත්වූ සේක. ගුරු දේවයාණන් වුවත් ශාවකයන්ගේ පාද සෝදා සිප ගත් සේක. මිදී රස පාත්‍රය ගෙන ඊට ආසිරි ගන්වා එය තමාගේ රුධිරය බවට පත් කර පානය කරන්න යයි කි සේක. 


මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාද නිධානය ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. 


එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. 

සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.


ක්‍රිස්තුන් වහන්සේ එදා කල දේ අද ශු. සතියේ මහා බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පුජා වේලෙහි මුළු ලොවම කිතුනුවෝ තම දේවස්ථාන වලට වී ඉමහත් බැතියෙන් හැම වසරකදීම සිහිපත් කරති.


මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය “Paschal Triduum” හෙවත් “පාස්කු තෙදින වන්දනා මෙහෙයය” නම්වේ. 


මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. 


එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. 


මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප “මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්” – (Missa Freesanctificatorum) නම්වේ. 

මෙහි අර්ථය නම්, “පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප” යන්නය.


මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය.


දේව වාක්‍යය මෙහෙයය : අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට පැවතෙන දේව වාක්‍ය කියවීමේ චාරිත්‍රයකි.


ශ්‍රී කුරුසියේ වන්දනාව : පෙරහැරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වීම්ත්, එය සිපාචාර කිරීමත් කරයි. මෙය එවකට ජෙරුසලමේ කිතුනු බැතිමතුන් අතර පැවති චාරිත්‍රයකි.


දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම: මෙම පිළිවෙත මුල්කාලයේ මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්ත්‍යාදරය හා එවකට සිටි සාන්තුවරයන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇති වූ පිළිවෙතකි.


මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ මළ ගෙය නොවන බව කිතුනු අප විශේෂයෙන් මතක තබා ගත යුත්තකි. ජේසුස් වහන්සේ මරණයට පත්වී උත්ථාන වී නැවත ස්වර්ගයට ගොස් අවසන්ය. ගැළවීමේ අභිරහස තුළ තව ඉටු වීමට ඇති එකම දෙය වන්නේ ජේසුස් වහන්සේගේ තේජාන්විත දෙවන ආගමනයයි. 


එබැවින් මහ සිකුරාදාව ජේසුස් වහන්සේගේ මළගමට සහභාගිවීමට යාමක් ලෙසින් සැලකීම දේවධාර්මිකව වැරදි සංකල්පයකි. මහ බ්‍රහස්පතින්දායින් ඇරඹෙන දිව්‍ය පූජා මෙහෙය පාස්කු ඉරු දින දක්වා එකම වන්දනා පිළිවෙතක් ලෙසින් පවත්වන්නේ ද ඒ නිසාය. 


මෙම තෙදින තුළ අප දේවස්ථානයට යන්නේ අනෙක් කිතුනුවන් සමග එක්වී ජේසුස් වහන්සේගේ මහා පාස්කු අභිරහස මංගල්‍යයක් වශයෙන් අති උත්කර්ෂවත් ලෙස සැමරීමටය.


මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. 


එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත “දේශනා නවයේ පසන් පොත” හා “දුක්ප්‍රාප්ති ප්‍රසංගය” යන පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. 


මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත “තුන් පැය ධ්‍යානය” යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් “තුන් පැය ධ්‍යානය” වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. 


මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.


දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. 


එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. 

මන්ද උත්පත්ති 2 : 16 – 17/ 3 : 1 – 7 හි දැක්වෙන “හොඳ නරක අවබෝධ කිරීමේ ගස”වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.


මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. 


එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ. 


පසුදින එළබෙන සෙනසුරාදා දිනද කිතුනුවන්ට ඉතා වැදගත්ය. මෙදවස ආලේලුයියා සෙනසුරාදා වශයෙන් හදුන්වනු ලබයි. 


එදින රාත්‍රී යාමයෙහි පැවැත්වෙන පුජා මෙහෙය ආලෝකයේ හා ජලයේ මංගල්‍ය රාත්‍රිය හැටියට හැදින්වේ. ඊජිප්තු දේශයෙහි සෑහෙන කාලයක් පාරාවෝගේ දරුණු පාලනයට නතුව සිටි හෙබ්‍රෙව් ජනයා රතු මුහුද මැදින් පොරොන්දු දේශයට පැමිණි ආනන්ද ජනක රාත්‍රිය මෙදින සිහිපත් කෙරේ.


සියලු පහන් නිවා දමා මුළු දේවස්ථනයම අදුරේ තබා මහා දොර ලග ගිනි දල්වා මේ ගිනි දැල්ලෙන් පුජා ප්‍රසාදී තුමා පාස්කු පහන දැල්වීම සිරිතකි. 

මේ ඉටිපන්දමේහි කටුවකින් කුරුසියේ ලකුණු සටහන් කර ග්‍රීක භාෂාවෙන් පළමු හා අවසාන අකුරද සටහන් කරයි .

 

අල්ෆා හා ඔමේගා ඒ අකුරුය. වතුරෙන් පිරුණු ඒ ජල බදුන් තුලට පාස්කු ඉටි පන්දම බස්වා ආසිරි ගැන්වීමද මෙම රාත්‍රි මෙහෙයට ඇතුලත්ය. ආසිරිපැන් නමින් හදුන්වන්නේ මෙම ආශිර්වාද කල ශුද්. ජලයයි. බැතිමත්හු මෙම ජලය භාජන, බෝතල් වලට පුරවා තම නිවෙස් වලට ගෙන යති. 


යක්ෂ දේශ වලින් ආරක්ෂා වීමටත්, රෝගීන් හා තම නිවෙස් හෝ ගොඩනැගිලි ආශිර්වාද කිරීම වැනි දේ සදහා මෙම ආසිරි පැන් යොදා ගනී. තවද ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කිරීම , යක්ෂයා ප්‍රතික්ෂේප කිරීම තුලින් නව ජීවිතයකට ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රියාදාමය ආලේලුයියා සෙනසුරාදා මෙහෙය තුල සිදු කෙරෙන ප්‍රධාන ක්‍රියාවකි.


ශු. සතියේ කුඨ ප්‍රාප්තිය පාස්කු ඉරිදායි. ක්‍රිස්තුන් වහන්සේ තම දෙවිකත්වය මනුසතට ප්‍රකාශ කරමින් මරු පරදා මළවුන්ගෙන් උත්ථාන වීම මෙදින අනුස්මරණය කෙරේ. 


පාස්කුව ජයග්‍රහණයේ මංගල්‍යයකි. තමන් මරණු ලැබුවද, මළවුන්ගෙන් උත්ථාන වී ජිවතුන් හා එක් වන බව ක්‍රිස්තුන් වහන්සේ කලින් පවසා වදාළ සේක. 

තවද එළෙස මළවුන්ගෙන් නැගිට වදාළ ක්‍රිස්තුන් වහන්සේ දින සතලියක් තම සගයන් හා නෑ හිතවතුන් සමග ජිවත් වූ සේක.


ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන නොවුවා නම්, ක්‍රිස්තියානි ආගමක් නැත. ගුරු දේවයාණන් සියැසින් දුටු ක්‍රිස්තු ශාවකයෝ ඊට සාක්ෂි දැරුහ. ලියා තැබුහ. ක්‍රිස්තු ධර්මය ඇදහිල්ලක් හා විශ්වාසයක් බවට පත්වුයේ ක්‍රිස්තුන් වහන්සේ මෙම මළවුන්ගෙන් නැගිටීමත් සමගය. 


මෙයාකාරයෙන් බලන විට ශුද්ධවූ සතිය ක්‍රිස්තු ඇදහිල්ලේ හා විශ්වාසයේත් පදනමයි.  


ඔබ සැමට සුභ පාස්කු මංගලයක් වේවා.

ජේසු පිහිටයි.   


             (සංස්කරණය අන්තර්ජාලය ඇසුරෙනි)

ඩිලාන් ආසිරි

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link