Wednesday, April 10, 2019

ලෝක කාන්තා දිනය

🌹 ලෝක කාන්තා දිනය 🌹


ලෝක කාන්තා දිනයේ  මුළුමහත් ලෝ වාසි කාන්තාවන් වෙනුවෙන් යමක් ලිවීමට වඩා සමූහයේ නමටම ගැලපෙන අයුරින් නොහොත් ඉතාලියේ ජීවත් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම වඩාත් කාලෝචිත බව සිතමි.


ලංකාවේ ජීවත් වන කාන්තාවන් හා ඉතාලියේ ජීවත්වෙන කාන්තාවන් අතර මම දකින්නේ එකම එක වෙනස්කම් දෙකක් පමණි.


1) ඔවුන් ජීවත්වන්නේ ලංකාවේ වීමත් අප ජීවත්වන්නේ ඉතාලියේ වීමත්ය.

2) ඔවුන්ට සර්වප්‍රකාරයෙන් සෑම කටයුත්තකදීම දෙමව්පියෝ, සහෝදරයෝ, අසල්වැසියෝ, හිතමිත්‍රාදීන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර මෙහි ජීවත්වන කාන්තා අපි වෙනුවෙන් පෙනී සිටින කිසිවකු නැති අතර සියල්ලක්ම පාහේ වැඩකටයුතු අප විසින් තනිව කරගතයුතු වීමත්ය..


මේ හැර ඔවුන්ගේත් අපගේත් කිසිම වෙනස්කමක් නොමැත.


තරුණියකව ඉතාලියට පැමිණෙන කාන්තාව තමුන්ගේත් තම පවුලේත් සුබසිද්ධිය උදෙසා තම තරුණ කාලය වැය කරන අතර විවාහයට එළබීමත් සමගම තම මුලු ජීවීතයම පවුල වෙනුවෙන් කැප කරයි. 


බහුතරයක් කාන්තාවන් තමා ගැන සලකා බලන්නේ තමාට මුල්තැන දෙන්නේ විවාහ වීමට පෙරයි.


ඇඟ ලස්සනට තියන් ඉන්න,ලස්සනට අඳින, විලාසිතා කරන බොහොමයක් කාන්තාවන් තනිකඩයන් ය.


විවාහවී,දරුවන් ලැබූ පසුවත් තමා වෙනුවෙන් කාලය මිඩංගු කරන්න කාන්තාවන් වේ නම් එයද අතලොස්සකි.


විවාහයට එළඹීමත් සමග ගැහැණියකගෙ තම ස්වකීය ජීවීතයට තහංචි වැටෙන්නේ තම සැමියාගෙන් ම පමණක් නොව තමා විසින්ම තමාට පනවාගන්නා ස්වයං නීති රාමුවකටද ඇය නිතැතින් කොටු වන බැවිනි.

එයට හේතුව නම්,

සෑම අතින්ම වියදම් පාලනය කිරීම හේතුකොට ගෙන, ඇය සඳහා මෙතෙක් වියදම් කල බොහෝ දේවල් ඇය විසින්ම කපාහැරීමට ලක් කිරීමයි.


(උදා;

-මට ඇදුමක් ගන්න හිතන් හිටිය සල්ලි වලින් ළමයට ඇදුමක් ගන්නවා.

-මට මේ  කාලයක් තිස්සෙ තියෙන ඔලුව කැක්කුම මොකක්ද කියලා බලනවට වඩා අවුලින්(වේදනා නාශකයක්) බීලා ඒ සල්ලි ලංකාවේ දණිස් අමාරුව තියෙන අම්මට යවනවා එයාව දොස්තර කෙනෙක්ට පෙන්වන්න.)


ඉතින්,

විවාහක කාන්තාවක්

විලාසිතා

රූපලාවන්‍ය කටයුතු

තම විනෝදාංශ,

වෙනුවෙන් වියදම් නොකිරීම පුදුමයට කරුණක් නොවේ.


දයබර කාන්තාවන් එහෙමය.


විවාහයෙන් පසුවත් උදේම රැකියාවට පිටත්වෙන ඇය රැකියාවෙන් පසුව හැල්මේ නිවසට දුව ගොස් නිවසේ හුදෙක් වැඩකටයුතු සියල්ලක්ම කර ශාරීරිකව මහත් වෙහෙසක් දරා ඉන්පසුවද එළඹෙන රාත්‍රියේදීද නිදි යහනේදී තම සැමියාව තෘප්තිමත් කළ යුතුවන්නේ හුදෙක් එය ඇය සඳහාම ලබාගන්නා මානසික සුවයකට,ශාරීරික තෘප්තියකටත් වඩා සැමියා පිට යාවී යයි යන නීරස ඇත්ත නිසාය. 


පැය කිහිපයක කෙටි නින්දකින් පසුව නැවතත් හිරුටත් කලින් අවදිව රැකියාව සඳහා දුව යන ඇයගේ දවස හැමදාම කාන්තා දිනයක් වේ. 


බොහෝ කාන්තාවන් සති අන්තයේ දීද මෙලෙස රැකියාවේ යෙදෙන අතර ඇය වෙනුවෙන් වෙන්වූ විවේක දිනයක් නැත. 


මක්නිසාදයත් රාජකාරි දවස් වලින් පසු එළඹෙන විවේක දිනයේදී ඇය නිවසෙහි, සැමියාගේ, දූ දරුවන්ගේත් රාජකාරි බොහොමයක නිරත වන බැවිනි.

 

මෙතරම් වෙහෙස වී මසක් පුරා දුක් විද ලබාගන්නා වැටුප ප්‍රධාන මූලික අවශ්‍යතාවයන් සඳහා වෙන් කළ පසුත් ඇය සඳහා ඉතුරුවන කෙංගෙඩියක් නැත. 


කෑම බීම, ගෙවල් කුලී, දරුවන්ගේ වැඩකටයුතු, නානා ප්‍රකාර බිල්පත් අතර ලංකාවේ සිටින තම අසරණ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සමීපතමයින්ට  යැවීම සදහා ඉතුරු කර ගත් සොච්චම ඔවුන්ට යැවීමටද, සැමියාගෙන් අනේක විදියේ,අසමත්ජාති කතා ඇසීමට සිදුවීම හරිම කණගාටුවට කරුණකි. 


පුරා මසක්  දුක් විද, සේවයෙ යේදී උපයාගන්නා මුදලින් සතයක්වත් තමාට ඉතුරු නොවුනත් ඒ සියලුම දුක් හිතේ රඳවාගෙන හෙට දවසට සහජයෙන් උරුම වී ඇති දරාගැනීමේ ශක්තියද පෙරදැරිකරගෙන ඉතාලියේ ජීවත් වන කාන්තාවන් ජීවිතයට මුහුණ දෙන හැටි මම දෑස් පුරා රිසිසේ දැක ඇත්තෙමි,එවන් දුක් අඳෝනා සිත් පුරා විඳ ඇත්තෙමි.


සෑම ඕනෑ එපාකමක්ම ඉටුකළ පසුත් මුළු දවස තිස්සේ වෙහෙසන බිරිඳගේ ඇඟේ හැඩය ගැන අවලාද නගමින් මැසිවිලි කියන බොහෝ පිරිමින් ඇයට හොරා වෙන ලදුන්ගේ පහස පැතු වත් මේ සියල්ලක්ම දැනගෙන නිහඬව දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් මේ සෑම වේදනාවක්ම සිත් දරාගෙන හෙට දවසට මුහුණදෙන ගැහැනුන් මා අනන්තවත් දැක ඇත.


තම දෙමව්පියන්ගේ ඉතාලි සිහිනය සැබෑ කරනු වස් තම ජීවිතය නාකි, සල්ලාල,විරූපී,නෝන්ජල්,දික්කසාද,ලතෙත් බවක් නැති පිරිමින් වෙනුවෙන් සින්න කල යුවතියන්ගේ ජීවිත මම මගේ ඇස් දෙකෙන් දැක ඇත්තෙමි.


මේ සියල්ලන්ම කාන්තාවන්ය.

තමා වෙනුවෙන් නැතත් අනුන් වෙනුවෙන් හෝ තම වටිනා ජීවීතය උගස් කල වනිතාවන්ය.


ඉතාලි ජාතිකයන් කාන්තා දිනය සමරනු වස් කහපාට මිමෝසා මල් කිනිත්තක්  ගැහැණුන් වෙනුවෙන් පිරිනැමුවත් ලාංකීක කත උදේසා එවැනි මීමෝසා කිනිත්තක් අවශය නොවන අතර අවශ්‍ය වන්නේ ආදරය හා කරුණාවයි.

 

රළු දෑත් හිමි සෑම පිරිමියෙක්ටම  මෘදු සිතක් උපතින්ම උරුම වී ඇත.

අවශ්‍ය වනුයේ හදවතේ දොර-ගුල් දමා වසා ඇති එම මෘදු සිත විවර කර තම කාන්තාවට සෞම්‍ය වූත්,පිරිසිදුවූත් ආදරයක් ලබා දීම හා ඈව තෙරුම් ගැනීම පමණකි.. 


ඔබගේ කාන්තාවට ආදරේ කරන්න.

ගෞරව කරන්න.

ඔබගේ ජීවිතය ඇය සමග පමණක් බෙදා ගන්න.

ඔබ වෙනුවෙන්, ඔබගේ දරුවන් වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්,

වචනයේ පරිසමාප්තාර්තයෙන්ම.,

ඇයගේ මුළු ජීවිතයම ඔබ වෙනුවෙන් කැපකරන ඇයට එළඹෙන සෑම දිනයක්ම කාන්තා දිනයක් කරවන්න..,


මක්නිසාදයත් සුන්දර ගැහැණියගේ ඔබ දකින ස්ත්‍රී ලාලිත්‍ය වගේම ඇයගේ හිතට පිවිසෙන පාලනය කරගත නොහැකි වේදනාව,කේන්තිය, කෝපය පිරිමි ඔබ කරුණු කොට ගෙන පිටාර ගැලුව හොත්  ඔබ අසා ඇති පරිදි පොම්පෙ නගරයේ ඇති විසූවියස් ගිනිකන්දට වඩා වැඩි ඇයගේ කෝපාවිෂ්ට ලාවා ගින්නෙන් ඔබ ඇතුළු මුළු මහත් පවුලම,

පවුල අයිති සමාජයම,

සමාජය අයිති ලෝකයම.,

අළුවී,විනාශ වී යන බැවිනි..


ගයානි සුධීරා ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link